අද අපි රෝපණය කරන පැලෑටිය හෙට අපව පෝෂණය කරයි.

අපගේ භද්‍ර යෞවන සමයේ අපට හමුවූ ආදර්ශවත් මාර්ගෝපදේශකයෙකු සිහිපත් කරන්නට මම කල්පනා කළෙමි. ඒ ලියෝ ධම්ම දේවේන්ද්‍ර ගුරුපියාණන් ම වේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු මුලු ජීවිත කාලයම බ්‍රහ්මචාරීව ගත කළ සිල්වතෙකි. ඉතා දක්ෂ ඉංග්‍රීසි හා ගණිත ගුරුවරයෙකු වු ඔහු වඩාත් දුෂ්කර ප්‍රදේශවල පාසැල් තෝරාගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වූ බව පැහැදිලි සත්‍යයකි. පාසැල් කාලයෙන් පසුව දරුවන්හට ඉගැන්වීමට උනන්දු වන ඔහු වටා දරුවන් ඒකරාශී වූයේ ඒතරම්ම කරුණාවක් ඔහු තුල තිබුණු නිසාමය.

ඔහු chess ක්‍රීඩාවට අති දක්ෂයෙකු වු අතර ඔහු පැරදවීම මා ලැබූ ලොකුම ලොකු ආශ්වාදයකි. ගිහි කාලයේදී මා ඔහු සමඟ කොතෙකුත් දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදෙන්නට වූයෙමි. පාන්දර තුනට අවදිවීම ඔහුගේ ස්වභාවය වූ අතර නින්දට පෙර දවසේ සියලු කටයුත් අවසාන කිරීමට පුදුමාකාර හැකියාවක් ඔහු සතුවිය. පෝය දිනවල දහම් වැඩ සටහන් මෙහෙයවන ඔහු රාත්‍රියේදී ද වැඩ සටහන් දියත් කිරීමට ඉමහත් උනන්දුවක් දක්වන්නට විය. ඔහුගේ ආභාෂයෙන් මා පළමු වැනි වැඩ සටහන මෙහෙවන කල්හි මගේ වයස අවුරුදු විස්සක් පමණ විය. මහා සතිපට්ඨානය ඇසුරින් වැඩ සටහනක් මෙහෙය වන්නට ඔහු මා දිරිගැන්වීය එය මා මහනුවර ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයේදී දියත් කළෙමි. එදා 400 කට අධික පිරිසක් සිල් සමාදන්ව සිටි බව මට මතකයි. “ප්‍රදීප්, ඉතාම ලස්සනට කරුණු ඉදිරිපත් කළා. මේක බොහෝම ලොකු මෙහෙවරක්. දිගින් දිගටම උනන්දු වෙන්න.” ඔහු මා උනන්දු කරවුයේය.

1989 ඔක්තෝබර මස හතර වැනිදා උදේ අප නිවසේදී කිරිබත් කා, පැවිදිවීම පිණිස මහනුවර, ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ, ශ්‍රී බෝධිමලු විහාරයට මාව කැඳවාගෙන ගියේ එතුමාය. එතුමාගේ ඇසුර අපට ලොකුම ලෙකු ශක්තියක් විය. මේ සටහන තබන්නේ ඒ වෙනුවෙන් එතුමාට උපහාරයක් වනු පිණිස මය.

 

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published.