චේතනාව මුල් කරගත් යම් ආකාරයක ක්‍රියාවක් වේද එය කර්මය යනුවෙන් හඳුන්වා දෙන්නට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූහ.
සිහිය දියුණු කරන්නට කැමැත්තක් ඇති කරගෙන, ඒ අනුව සිත පුරුදු පුහුණු කරන්නේ නම්, වඩාත් හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට එම පුහුණුව උපකාර වන්නේ ය.
නුවණින් විමසා බලා ඒ ඒ තැන සුදුසු කටයුත්ත කුමක්ද? එයින් ලැබෙන ප්‍රතිඵල කෙබඳු වේද? එම කටයුත්ත කෙරෙහි ලෝකයා කෙබඳ ප්‍රතිචාරයක් දක්වයිද? මේ ආදී වශයෙන් විමසා බලා කටයුතු කරන්නට උනන්දු වේද එය වඩාත් හොඳ අවබෝධයක් පිණිස උපකාර වේ.
සෑම අවස්ථාවකම වීර්යය මතු කරගන්නටත්, කොපමණ කරදර කම්කටොලු මතුවුනත් වීර්යයම පවත්වන්නටත් සිත හුරුපුරුදු කිරීම වටි. කළ යුතු දේ කරන්නත්, නොකළ යුතු දේ වළක්වන්නත් වීර්යයම උපකාර වන අතර වඩාත් හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන්න වීර්යය පිටිවහලක් වේ.
අප මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න, දුක්කරදරවල ප්‍රමාණය මෙපමණයි කියා කිසිවිටෙකත් කිය නොහැකිමය. ඒ කවරම ප්‍රශ්නයක් නමුත් හොඳින් භාරගෙන සතුටින් කටයුතු කරන්නට අපි පුරුදු පුහුණු විය යුත්තේ මය. නිතර සතුට අත්දකින අය ශක්තිමත් ව ප්‍රශ්නවලට මුහුණ දෙති. මෙයද වඩාත් හොඳින් අවබෝධය දියුණු කරගන්න උපකාර වේ.
සිතේ සතුට නිතරම පවත්වාගත යුතු අතරම සිත ගත දෙකම සැහැල්ලුවෙන් පවත්වන්නත් අපි ඉගෙන ගත යුතු වන්නේමය. ඒ ඒතැන සුදුසු පරිදි නම්‍යශීලීවීමත්, දැඩිව ගැනීම අතහැරීමත් සැහැල්ලුව පහසු කරන්නට උපකාර වන බව පෙනේ. පස්සද්ධිය නම් වූ සැහැල්වෙන් කටයුතු කිරීමත් අවබෝධය පිණිස වැදගත් ම වේ.
චිත්ත ඒකාග්‍රතාවය පුරුදු පුහුණු කළ යුතුම වන්නේය. නොසන්සුන් වන කල්හි බියද, නපුරුකමද, සැකයද. අසරණකමද, සංතාපයද, ඉච්ඡාභංගත්වයද සිත තුල රජ වේ. එබැවින් සිත ශක්තිමත් කිරීම පිණිස සමාධිය දියුණු කළ යුතුවේ. චිත්ත සමාධියද අවබෝධය පිණිස උපකාර වේ.
දුක සැප. ලාභ අලාභ, නින්දා ප්‍රසංශා, කීර්ති අපකීර්ති යන අෂ්ඨලෝක ධර්මයන් අප කාටත් අත්දකින්නට සිදුවේ. මේවා හමුවේ කම්පාවීම මානසික අස්ථාවරය ඇතිවීමටත්, අනපේක්ෂිත දුක්දොම්නස්වලට හිමිකම් කියන්නත් හේතුවේ. එසේම ජීවිතය අනාරක්ෂිත වේ. එබැවින් මේ සියල්ල උපේක්ෂාවෙන් ගන්න ඉගෙන ගන්නත් උපේකෂාව දියුණු කරන්නත් අපට හොඳ පුහුණුවක් අවශ්‍ය වේ. එය අවබෝධයෙන් කටයුතු කිරීමට ඍජුවම උපකාර වේ.
ඊයේ රාත්‍රියේ බොජ්ඣංග ධර්ම අපගේ භාවනාවට අරමුණු කළ හෙයින් මෙසේ සරල විග්‍රහයක් කරන්නට මසිත උනන්දු විය. ඔබත් යම් අන්දමක වටිනාකමක් දකින්නේ නම් අපගේ ව්‍යායාමයට එය ඉමහත් දිරිගැන්වීමක් වන්නේ මය.

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *